-->

Recent

Thursday, June 2, 2011

යුද පිටියෙන් එදිනෙදා ජීවිතයට - Inventions from Wartime - දෙවන කොටස

මෙන්න සංග්‍රාම අවධිවලදී සොයා ගන්නා ලද නමුත් දැන් අ‍පේ පහසුව සදහා භාවිතාවෙන දේවල් - Inventions from Wartime  ලිපියේ දෙවන කොටස. හැබැයි දෙවන ලිපියේ නම ටිකක් වෙනස් කරා.

සමහර නිපැයුම් මුලින්ම කාන්තා පාර්ශවයේ භාවිතය සදහා පමණක් නිපවපු ඒවා. ඒවා පසුව යුද භූමියේ අවශ්‍යතාමත නිපදවන ලද පසුව තමයි එදිනෙදා ජීවි‍තයේ පිරිමි අය භාවිතා කරල තියෙන්නේ. මේකට හොදම උදාහරණය තමයි අපි අතේ බදින ඔරලෝසුව හෙවත් wristwatch. ඒ අනුව මුල් කාලයේ Real Gentlemen හෙවත් නියම මහත්තුරු අතේ බදින ඔරලෝසු භාවිතා කරල නැහැ. ඔවුන් වේලාව දැනගන්න පාවිච්චිකරල තියෙන්නේ පොකට් ඔර‍ලෝසු. ඒකට ගාංචුවක් එහෙමත් නැත්නම් කුඩා දම්වැලකින් සාක්කුවට සවිවෙලා තිබුනා වගේම එයට කුඩා කවරයකුත් තිබිලා තියෙනවා.

කෙසේවෙතත් 1920 වෙනකම්ම සාමාන්‍ය කාන්තා පලදානාවක් පමනක් වූ අතේ බදින ඔරලෝසුව හදුන්වලා තියෙන්නේ  Wristlet කියන නමින්. අතේ බදින ඔරලෝසුව කොතරම් කාන්තාවන්ට විතරක් සීමාවී තිබුන දෙයක්ද කිවහොත් සාක්කු ඔරලෝසු රැගෙන යන නියම මහත්තුරු ඒක හදුන්වලා තියෙන්නේ "sooner wear a skirt as wear a wristwatch" විදියටයි.

German Kaiser Wilhelm I
මේ සියළු දේවල් වෙනස් කරන්න පළමු ලෝක යුද්දය සමත්වුනා. එයට හේතුව තමයි ඒ යුද්දයේ නියළුනු සොල්දාදුවන්නට වෙලාව දැන ගන්න සාක්කුවෙන් ඔරලෝසුව අරගෙන බලන එක ප්‍රායෝගික නොවන දෙයක් වීම. ඒ නිසා ලෙදර් පටියකින් ඔරලෝසුව තමන්ගේ මැනික් කටුවට ඉහලින් බැද ගන්න ඔවුන් පෙලඹුනා. එය එසේ සිදුවුනේ 1914-1918 කාලෙදිනේ. හැබැයි ජර්මන්වරු කොයිදේටත් අනිත්අයට වඩා ඒ කාලේ ඉදිරියෙන් හිටිය බවට සාක්ෂියක් තමයි ස්විස් ඔරලෝසු සමාගමක් වන Girard-Perregaux විසින් ප්‍රථම පිරිමි අත්‍ ඔරලෝසු ලෙස සැලකිය හැකි අත් ඔරලෝසු දෙදහසක් ජර්මනියේ  අධිරාජ්‍යයා (German Kaiser) Wilhelm I ගේ අණ පරිදි නිෂ්පාදනය කරල තියෙනවා. ඒ ජර්මානු නාවික නිළධාරීන් වෙනුවෙන් 1880 දී.

සේදුම්කාරක ද්‍රව්‍ය ‍හෙවත් Detergent සොයා ගෙන තිබෙන්නෙත් පළමු ලෝක යුද සමයේදීයි. 1916 දී තමයි මේ රසායණික ද්‍රව්‍ය සොයාගෙන තියෙන්නේ. මේක සොයාගන්න පාදක වෙච්ච කාරණය තමයි සාම්ප්‍රධායිකව සබන් නිෂ්පාදනයේදී මේදය අවශ්‍යයි. ඉතින් යුද සමයේදී ජර්මනියට සබන් නිෂ්පාදනයට අවශ්‍ය මේදය හිඟකමක් ආව නිසා ඒකට ආදේශන ද්‍රව්‍යක් ලෙස තමයි මේ  Detergent  නිපදවලා තියෙන්නේ.

Tissue Paper කියන්නේ අද අපේ එදිනෙදා ජීවිතයට තවත් නැතුවම බැරි ද්‍රව්‍යයක්‍. එයටත් තියෙන්නේ යුද්දයෙන් ඉපදුන අතීතයක් තමයි. Tissue Paper හදන්න ගන්න අමුද්‍රව්‍ය හදුන්වන්නේ “cellucotton” කියන නමින්. මේ අමුද්‍රව්‍ය මුලින්ම ‍යොදාගෙන තියෙන්නේ පළමු ලෝක යුද්දයේදී භාවිතා කල ගෑස් මුහුණු වල පෙරහන විදියට යොදාගත්ත කොට්න් වලට අදේශකයක් විදියටයි. ඒකට හේතුව තමයි කොට්න් වලට අධික ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා යුදබිමේ තුවාල ලබන සෙබළුන්ට බැන්ඩේජ් හා ගෝස් වගේ දේවල් හදන්න යොදාගන්න නිසා.

Sonar (Sound, Navigation and Ranging) කියන නාවිකයන්නට අත්‍යාවශ්‍යවන උපකරණය නිපදවලා තියෙන්නෙත් පළමු ලෝක යුද සමයේදීමයි. ඒ මොකටද කියනවානම් සතුරු සබ්මැරීන හදුනාගැනීමටයි. නිපදවලා තියෙන්නේ නම් ප්‍රංශ විද්‍යාඥ Paul Langevin විසින්. හැබැයි ඔහු මෙම සෝනාර් උපකරණය නිපදවන කොට එම යුද්දයට නම් ප්‍රමාද වැඩියි කියල තමයි කියන්නේ.

Trenchcoat එහෙම දැකල ඇතිනේ ඉංග්‍රීසි චිත්‍රපටිවල. මෙම ඇදුම ටිකෙන් ටික විකාශනය වෙමින් ඇවිල්ල පළමු ලෝක යුද්දයේදී තමයි බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට මෙම ආකාරයේ ඇදුම ලබා දීලා තියෙන්නේ. මෙය සොයා ගෙන තියෙන්නේ Thomas Burberry හිටපු රෙදි පිළි වෙලෙන්දෙකු විසිනුයි.

Radar (Radio Detection and Ranging) හෙවත් රේඩාරය ගැනත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒකත් දෙවන ලෝක යුද සමයේ තමයි සොයාගෙන තියෙන්නේ. ඒක ගැන සවිස්තරාත්මක ලිපියක් මීට පෙර සත් සමුදුරේම පල කරල තියෙනවා රේඩාරය සොයා ගත් පසු කියලා...

Cavity Magnetron කියන්නේ රේඩාර් සොයාගැනීමේ ව්‍යාපෘතිය කරගෙන යනකොට සොයාගත්ත දෙයක්. ඒ Sir John Turton Randall විසින්. Cavity Magnetron කියන්නේ අධිබල රික්තක නලයක් (high-powered vacuum tube). එයින් තමයි ක්‍ෂුද්‍ර තරංග (Microwave)  උත්පාදනය කරල දෙන්නෙ. මෙය විවිදාකාරයේ රේඩාර් පද්දතිවල යොදාගන්නා අතරම අපගේ නිවෙස්වල තියෙන Microwave Oven වල හා x-ray යන්ත්‍රවලත් භාවිතාවෙනවා.

Microwave Oven ගැන ඉස්සෙලත් පොඩි දෙයක් කිව්වා. ඒ එහි ක්‍ෂුද්‍ර තරංග ජනකය ගැනයි. දැන් කියන්න යන්නේ Microwave Oven නිපදවෙන්න හේතුකාරකය. මෙහෙමයි ඒක වෙලා තියෙන්නේ. Percy Spencer කියන්නේ රේඩාර් ව්‍යාපෘතියේ වැඩකටයුතු වල නියැළුන තවත් විද්‍යාඥයෙක්. ඔහු මේ වැඩකටයුතු කරගෙන යන අතරතුරේදී දිනක් ඔහුගේ සාක්කුවේ තිබුන candy bar එක උණුවෙලා තිබිලා තියෙනවා. එයින් ඔහුට අදහසක් ඇවිල්ල තියෙනවා විකිරණය (radiation) මගින් ආහාර පිසින්නට හැකිබව. එයින් තමයි Microwave Oven හදන්න අඩිතාලම වැටිල තියෙන්නේ...

The Manhattan Project එහෙමත් නැතනම් කවුරුත් දන්නා පළමු න්‍යෂ්ඨික බෝම්බය තැනීමේ ව්‍යාපෘතියත් අරඹන්න හේතුව දෙවන ලෝක යුද්දයයි. හැබැයි ඒකේ අවසන් ප්‍රතිඵලය නම් මහා ඛේදවාචකවක් වුනා. ඒ හිරෝශීමා හා නාගසාකී නගර මුළුමනින්ම මහා ජීවිත අහිමිවීමක් එක්ක විනාශ වී යාමයි. හැබැයි පසුකාලීනව ලෝකයේ බොහෝ රටවල බලශක්ති ප්‍රභවයක් ලෙස න්‍යෂ්ඨික බලය යොදා ගැනීම තුලින් ඒ රටවල් වල ආර්ථීක දියුණුවත් ලගා කර ගත් බව කිව යුතුයි.

අපි මොටර් සයිලක් පදින කොට අදින Biker Jackets ආවෙත් දෙවන ලෝක යුද්දය හරහායි. ඒ මුලින්ම මේවා භාවිතා කරල තියෙන්නේ ඒ යුද්දයට සම්බන්දවුන ගුවන් නියමුවන් විසිනුයි. යුද්දය නිමාවුනායින් පසුව ඔවුන් බොහෝමයක් තමන්ගේ "යකඩ අශ්වයා" පදවන කොට මෙම ජැකට්ටුවත් ඇදගෙනළු ඒවා පැදෙව්වේ. ඒක පසුව සෑම දෙනාම යතුරුපැදි පදවන කොට අදින ඇදුමක් බවට පත්වෙලා තියෙනවා.

කෘත්‍රිම රබර් හෙවත් Synthetic Rubber සොයාගත්තේ ඇමරිකානුවන් දෙවන ලෝක යුද්දයට පිවිසුනාට පසුවයි. ඒ අවස්ථාවේදී යුද්දයට අවශ්‍ය දේවල් තන්නන් අවශ්‍ය රබර් වල විශාල හිඟයක් ඔවුන්ට ඇතිවෙලා තියෙනවා. ඒකට ආදේශකයක් විදියට තමයි මේ නිපැයුම ඇවිල්ලා තියෙන්නේ. දැන්නම් විවිදාකාරයේ කෘත්‍රිම රබර් තියෙනවා වගේම 60 දශකයේදී වගේ අපේ රටටත් මේ කෘත්‍රිම රබර් නිසා තර්ජනයක් ඇතිවෙලා තියෙනවා. ඒ තමයි අපේ ‍ර‍ටේ නිපදවන ස්වාභාවික රබර්වලට තිබූ වෙලදපොල, කෘත්‍රිම රබර් විසින් අහිමි කරල දැමීම. ඒ අවස්ථාවේ අපිට උපකාර කරල තියෙන්නේ චීනය තමයි අපේ රබර් මිලට ගැනීම හා රබර් වෙනුවට සහල් සැපයීමෙන්.

ලෝකෙම දන්න Penicillin වැඩියෙන්ම මිනිසුන් භාවිතා කරල තියෙන්නෙත් දෙවන ලෝක යුද්දයට පසුවයි. එතෙක් වැඩිපුර ප්‍රචලිත නොවූ ඖෂධයක් වූ මෙය එම යුද්දය පැවති 1941 දී භාවිතය 10 ගුණයකින් වැඩිවෙලා තියෙනවා තුවාල ලත් සෙබළුන්ට ප්‍රතිකාර කිරීම සදහා. විශේෂයෙන් බටහිර යුද පෙරමුණ ප්‍රංශයට ඇතුළුවුන D-Day මෙහෙයුමේදී නැතුවම බැරි ඖෂධයක් වෙලා තියෙන්නේ මෙයයි.

Anti-Malaria හෙවත් මැලේරියා වට ඖෂද ලෙස Chloroquine සොයා ගෙන තියෙන්නේ 1934 දී ජර්මානු රසායන විද්‍යාඥයකු වන Hans Andersag විසින්. මෙය සොයා ගැනීමට හේතුව තමයි නිවර්ථන කලාපීය යුදබිම්වල සටන් වැදී සිටින සොල්දාදුවන් මැලේරියාව නිසා රෝගාතුර වීම. හැබැයි අවසනාවට 1946 වෙනකම් මෙම බෙහෙත ප්‍රතිකාර සදහා යොදාගෙන නැහැ.

Chemical Pesticides හෙවත් රසායණික කෘමිනාශක ආදිය ලෝකයේ රජකල chemical age in pesticides ඇතිවුනේ දෙවන ලෝක යුද්දයට පසුවයි. කොහොම වුනත් මේ යුද්දය පැතිරිලායන්න කලින් ස්විස් ජාතික රසායන විද්‍යාඥයකු වන Paul Müller සොයාගත්ත DDT වලින් කෘමීන් මරාදමන්න හැකිබව. ඇමරිකානු මෙන්ම අනෙකුත් රාජ්‍යවල යුදබිම් වෙත මෙම DDT  බෙදා හරිනු ලැබුවා එම මෙහෙයුම් පවතින භූමිවලට ඉස දැමීම සදහා. ඒ එම ප්‍රදේශ වල පීඩාකාරී කෘමීන් මර්ධනයට. යුද්දයේ තව සැගවුන කරුනක් තමයි උණ්ඩ වලට හෝ බෝම්බවලට හෝ වෙනයම් ආයුදයකට ගොදුරුව මිය යනවාට හෝ රෝගාතුර වෙනවාට අමතරව malaria හා typhus වගේ රෝගවලිනුත් අඩපන වීම හෝ මියයාම සිදුවීම. මේක දෙවන ලෝක යුද්දයට පෙර පැවති යුද්දවලදී සිදුවූ දෙයක්. හැබැයි රසායණික කෘමිනාශක භාවිතය නිසා දෙවන ලෝක යුද්දය තවත් කඩඉමක් පසු කරල තියෙනවා. ඒ තමයි ලෝකයේ සිදුවෙලා තියෙන පලමු යුද්දය සොල්දාදුවන් අඩුවෙන්ම පෙරකී රෝගවලට ගොදුරු නොවූ. ඒ DDT ‍වගේ රසායණිකවල පිහිටෙන්.

තව ටිකක් සොයා ගැනීම් තියෙනවා. දැන්නම් ටිකක් මහන්සිත් වගේ. ඒ නිසා ‍තෙවන කොටසෙදී ඉතිරි ඒවා බලමුද?

Wednesday, June 1, 2011

සංග්‍රාම අවධිවලදී සොයා ගන්නා ලද නමුත් දැන් අ‍පේ පහසුව සදහා භාවිතාවෙන දේවල් - Inventions from Wartime - පළමු කොටස

මොන තැනක සිදුවුනත් යුද්දය ගැනනම් සුභවාදී යහපත් පිළිතුරක් දියනොහැකි මාතෘකාවක්. හැබැයි මානව වර්ගයාගේ යහපත හෝ පහසුව පිණිස අද නිෂ්පාදන වන දේවල් බොහෝමයකට තිඹිරිගෙය වෙලා තියෙන්නේ යුද්දයක් හෝ එයට ආසන්න හේතුවක් බව අප බොහෝ දෙනෙක් නොදන්නා සත්‍යයක්. එසේ සොයාගන්නා ලද නිපැයුම් කිහිපයකම තොරතුරු ඔබ හමුවේ අද තැබීමට තමයි බලාපොරොත්තුවෙන්නේ.

මුලින්ම කියන්න යන්නේ අපි කවුරුත් දන්න තැපැල් සේවය එහෙමත් නැත්නම් Postal Service ගැන.
විධිමත් තැපැල් සේවයක් මුලින්ම පවත්වාගෙන යාම අරඹලා තියෙන්නේ ක්‍රි.පූ. 522 - 480 අතර කාලයේ රාජ්‍ය විචාරන ලද පර්සියානු අධිරාජ්‍යයෙකු වන Darius the Great විසින්. ඒ ඔහුට සහ යුද පෙරමුණු වල සිටි ඔහුගේ සේනාංක සමග හොද සන්නිවේදනයක් පවත්වාගෙන යාම සදහායි.

ගිලන් රථය හෙවත් Ambulance කියන අද වන විට අපට නැතුවම බැරි සේවාවත් ජනිත වෙලා තියෙන්නේ යුද්දයකින් තමයි. ඒ 1487 කාලයේ ස්පාඤය විසින් සිය තුවාල ලබන සොල්දාදුවන් යුද බිමෙන් ඉවත් කරන්න තමයි මෙම සේවාව සපයන වාහන භාවිතා කරල තියෙන්නෙ.
A horse drawn ambulance from theAmerican Civil War
(1861-1865)
ඉස්සර කාලයේ නම් ඉතින් යොදාගෙන තියෙන්නේ කරත්ත තමයි මේ ක්‍රියාවට. ඔවුන් මෙය හදුන්වල තියෙන්නේ ‘ambulancias’ (medical hospitals) ලෙසින්.

මෙම  ඒවගේම මෙම Ambulance කියන වචනය බිදී ආබව කියන්නේ ලතින් භාශාවේ ambulare කියන වචනයෙන්. එහි අර්ථය ඇවිදගෙන යාම හෝ ගමන් කිරීම කියන එකයි. තව දෙයක් කියන්න ඕන මෙම ගිලන් රථය කියන දෙය  හදුන්වා දෙනතෙක් යුදබිමේදී තුවාල ලබන්නන් යුද්දය ඉවරවෙන තාක් එතනින් ඉවත් කර ගැනීමක් සිදුවෙලා නැති බවත් කියන්න ඕන. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ 1487 ට පෙර යුද්දයකදී තුවාල ලබන එක මැරෙන එකට වඩා භයානක බව.
Cycle Ambulance
දැන්නම් ගොඩබිමේ තියෙන ගිලන් රථ විතරක් නෙමෙයි හෙලිකොප්ටර් ගිලන් රථත් තියෙනවා.

අපි කවුරුත් දන්න මාගරින් සොයාගන්න හේතුවත් යුද්දයට සම්බන්ධ‍ දෙයක් තමයි. ප්‍රංශයේ 1869 කාලයේ රජකම් කල Emperor Louis Napoleon III කියන රජුට අවශ්‍ය වෙලා තියෙනවා සිය යුදබිමේ සොල්දාදුවන්ට බටර් යවනවා වෙනුවට ඊට වඩා ලාභදායි විකල්පයක් යවන්න. මොකද සොයා බැළුවහම බටර් වලට සැලකිය යුතු වියදමක් යන නිසා. ඉතින් ඔහු බටර් වෙනුවට ලාභදායි විකල්පයක් සොයාගන්න කෙනාට ත්‍යාගයක් පවා දෙන්න තීරණය කරල තිබුනළු. මේ අභියෝගය ජයගත්ත කෙනා තමයි ප්‍රංශ රසායන විදඥ්‍යයකුවන Hippolyte Mège-Mouriés. ඔහු මාගරින් තනල තියෙන්නේ වෙන්කරගත් ගව මේදය, ජලය හා tributyrin ස්පල්පයක් එකට මිශ්‍ර කිරීමෙනුයි.

ටින් කල ආහාර හෙවත් Canned Food ලෝකයට ලැබෙන්නත් යුද්දය හේතුවුනා.
Preserved food
ඒ එසේ මෙසේ කෙනෙක්ගේ යුද්දයකට නෙමෙයි ප්‍රංශ අධිරාජ්‍ය Napoleon Bonaparte ගේ අවශ්‍යතාවය මතයි.
Napoleon Bonaparte
1700 අගභාගයේ එහෙමත් නැත්නම් 18 වන සියවසේ අන්තිම හරියේදී නැපෝලියන්ගේ හමුදා රුසියාව දෙසට ඇදෙන කොට එම භටපිරිස් වෙත ආහාර ලැබීමේ දුශ්කරතා මතුවෙලා තියෙනවා. ඒක නිසා ප්‍රංශ හමුදාව කුසගින්නෙන් වගේම, මන්දපෝශනයෙන්, ශීතාද රෝගය වැනි රෝගාබාදවලින් පෙලෙමින් තමයි ඉදල තියෙන්නේ. යුද ශිල්පයේ කෙල පැමිනි නැපොලියන් ඉක්මනින්ම වටහා ගෙන තියෙනවා මුලින්ම තමන් පරාජය වෙන්නේ සතුරු රුසියන් හමුදාව අතින් නොවෙයි මෙම සාගතය කියන සතුරාගෙන් බව (හැබැයි පසුව නම් රුසියන් හමුදාව අතින් නැපෝලියන් පරාජය වුන බව කියනවා). මේනිසා ඔහුගේ ප්‍රංශ ආණ්ඩුව කවුරුහරි කෙනෙක් ආහාර කල්තියාගෙන යුදබිමට යවන්න හැකි ක්‍රමයක් සොයා දෙන කෙනෙකුට විශාල ත්‍යාගයක් පිරිනමන බවට ප්‍රකාශ කර තියෙනවා. මේ ත්‍යාගයත් සුළුපටු ගණනක් නෙමෙයි ප්‍රංශ ෆ්‍රෑන්ක්ම 12,000 ක්ළු.

ඉතින් මේවගේ තෑග්ගක් ගන්න ඒ කාලේ ප්‍රංශ රටේ හිටිය හුඟක් අය උත්සහ කරන්න ඇති. ඔන්න මේකාලේ ඒ රටේ හිටිය Nicholas Appert කියල කෙනෙක්. ඔහු එතරම් ප්‍රසිද්ධියක් නැතුව රසකැවිලි නිෂ්පාදනය කරපු කෙනෙක්, ඒවගේම ඔහු බීර පෙරීම හා බේකරියකුත් කරගෙන උන්න කෙනෙක්. මනුස්සයා මේ තෑග්ග ගැනත් හිතේ තියාගෙන වෙන්න ඇති තමන් කරගෙන ඉන්න වැඩ කටයුතුවලට අමතරව මේ විදියට යුදබිමට කෑම යවන්න කල් තියා ගන්න හැකි ක්‍රමයකුත් සොයාගන්න හිතුවේ. 

Appert canning jar
Nicholas Appert ට මේ වෙනුවෙන් සිද්ධාන්තයක් ගොඩනගා ගන්නත් හැකිවුනා. ඒ තමයි නැවුම් ආහාර වායුරෝධක (airtight) භාජනයකට බහා  ප්‍රමාණවත් තාපයකට ලක්කල විට එය කල් තබා ගන්න හැකි බව. හැබැයි මේ සොයාගැනීම කරන්න ඔහුට සෑහෙන්න කාලයක් ගතවුනා. ඒ කියන්නේ වසර 14 ක් මෙම පරීක්‍ෂන වෙනුවෙන් ගතවෙලා තියෙන අතරම 1810 දී නැපොලියන් අතින්ම තෑග්ගත් ලබා ගෙන තියෙනවා. 

මේ Nicholas ආහාර කල් තියා ගෙන තියෙන්නේ මේ විදියට. ඔහු මුලින් බෝතල් වලට ආහාර දමා එය ඇබ ගසා වසා, නටන උණු වතුරට ගිල්වලා තියෙනවා. 

කොහොමවුනත් වීදුරු බෝතල් වගේ බිදෙන සුළු දේවල් යුද බිමකට නුසුදුසු නිසා පසුකාලීනව ටින්, බෝතල් වල තැන ගන්න ඇති. මෙම ප්‍රයෝජනවත් සොයාගැනීම වෙනුවෙන් Nicholas Appert ට ගරු කිරීමක් ලෙස ටින් කිරීමේ ක්‍රියාවලිය "appertisation" ලෙසද හදුන්වනවා.

තව ගොඩක් සොයා ගැනීම් ගැන කියන්න තියෙනවා. ඒ ගැන දෙවන කොටසේදී බලමු...