-->

Recent

Thursday, June 2, 2011

යුද පිටියෙන් එදිනෙදා ජීවිතයට - Inventions from Wartime - දෙවන කොටස

මෙන්න සංග්‍රාම අවධිවලදී සොයා ගන්නා ලද නමුත් දැන් අ‍පේ පහසුව සදහා භාවිතාවෙන දේවල් - Inventions from Wartime  ලිපියේ දෙවන කොටස. හැබැයි දෙවන ලිපියේ නම ටිකක් වෙනස් කරා.

සමහර නිපැයුම් මුලින්ම කාන්තා පාර්ශවයේ භාවිතය සදහා පමණක් නිපවපු ඒවා. ඒවා පසුව යුද භූමියේ අවශ්‍යතාමත නිපදවන ලද පසුව තමයි එදිනෙදා ජීවි‍තයේ පිරිමි අය භාවිතා කරල තියෙන්නේ. මේකට හොදම උදාහරණය තමයි අපි අතේ බදින ඔරලෝසුව හෙවත් wristwatch. ඒ අනුව මුල් කාලයේ Real Gentlemen හෙවත් නියම මහත්තුරු අතේ බදින ඔරලෝසු භාවිතා කරල නැහැ. ඔවුන් වේලාව දැනගන්න පාවිච්චිකරල තියෙන්නේ පොකට් ඔර‍ලෝසු. ඒකට ගාංචුවක් එහෙමත් නැත්නම් කුඩා දම්වැලකින් සාක්කුවට සවිවෙලා තිබුනා වගේම එයට කුඩා කවරයකුත් තිබිලා තියෙනවා.

කෙසේවෙතත් 1920 වෙනකම්ම සාමාන්‍ය කාන්තා පලදානාවක් පමනක් වූ අතේ බදින ඔරලෝසුව හදුන්වලා තියෙන්නේ  Wristlet කියන නමින්. අතේ බදින ඔරලෝසුව කොතරම් කාන්තාවන්ට විතරක් සීමාවී තිබුන දෙයක්ද කිවහොත් සාක්කු ඔරලෝසු රැගෙන යන නියම මහත්තුරු ඒක හදුන්වලා තියෙන්නේ "sooner wear a skirt as wear a wristwatch" විදියටයි.

German Kaiser Wilhelm I
මේ සියළු දේවල් වෙනස් කරන්න පළමු ලෝක යුද්දය සමත්වුනා. එයට හේතුව තමයි ඒ යුද්දයේ නියළුනු සොල්දාදුවන්නට වෙලාව දැන ගන්න සාක්කුවෙන් ඔරලෝසුව අරගෙන බලන එක ප්‍රායෝගික නොවන දෙයක් වීම. ඒ නිසා ලෙදර් පටියකින් ඔරලෝසුව තමන්ගේ මැනික් කටුවට ඉහලින් බැද ගන්න ඔවුන් පෙලඹුනා. එය එසේ සිදුවුනේ 1914-1918 කාලෙදිනේ. හැබැයි ජර්මන්වරු කොයිදේටත් අනිත්අයට වඩා ඒ කාලේ ඉදිරියෙන් හිටිය බවට සාක්ෂියක් තමයි ස්විස් ඔරලෝසු සමාගමක් වන Girard-Perregaux විසින් ප්‍රථම පිරිමි අත්‍ ඔරලෝසු ලෙස සැලකිය හැකි අත් ඔරලෝසු දෙදහසක් ජර්මනියේ  අධිරාජ්‍යයා (German Kaiser) Wilhelm I ගේ අණ පරිදි නිෂ්පාදනය කරල තියෙනවා. ඒ ජර්මානු නාවික නිළධාරීන් වෙනුවෙන් 1880 දී.

සේදුම්කාරක ද්‍රව්‍ය ‍හෙවත් Detergent සොයා ගෙන තිබෙන්නෙත් පළමු ලෝක යුද සමයේදීයි. 1916 දී තමයි මේ රසායණික ද්‍රව්‍ය සොයාගෙන තියෙන්නේ. මේක සොයාගන්න පාදක වෙච්ච කාරණය තමයි සාම්ප්‍රධායිකව සබන් නිෂ්පාදනයේදී මේදය අවශ්‍යයි. ඉතින් යුද සමයේදී ජර්මනියට සබන් නිෂ්පාදනයට අවශ්‍ය මේදය හිඟකමක් ආව නිසා ඒකට ආදේශන ද්‍රව්‍යක් ලෙස තමයි මේ  Detergent  නිපදවලා තියෙන්නේ.

Tissue Paper කියන්නේ අද අපේ එදිනෙදා ජීවිතයට තවත් නැතුවම බැරි ද්‍රව්‍යයක්‍. එයටත් තියෙන්නේ යුද්දයෙන් ඉපදුන අතීතයක් තමයි. Tissue Paper හදන්න ගන්න අමුද්‍රව්‍ය හදුන්වන්නේ “cellucotton” කියන නමින්. මේ අමුද්‍රව්‍ය මුලින්ම ‍යොදාගෙන තියෙන්නේ පළමු ලෝක යුද්දයේදී භාවිතා කල ගෑස් මුහුණු වල පෙරහන විදියට යොදාගත්ත කොට්න් වලට අදේශකයක් විදියටයි. ඒකට හේතුව තමයි කොට්න් වලට අධික ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා යුදබිමේ තුවාල ලබන සෙබළුන්ට බැන්ඩේජ් හා ගෝස් වගේ දේවල් හදන්න යොදාගන්න නිසා.

Sonar (Sound, Navigation and Ranging) කියන නාවිකයන්නට අත්‍යාවශ්‍යවන උපකරණය නිපදවලා තියෙන්නෙත් පළමු ලෝක යුද සමයේදීමයි. ඒ මොකටද කියනවානම් සතුරු සබ්මැරීන හදුනාගැනීමටයි. නිපදවලා තියෙන්නේ නම් ප්‍රංශ විද්‍යාඥ Paul Langevin විසින්. හැබැයි ඔහු මෙම සෝනාර් උපකරණය නිපදවන කොට එම යුද්දයට නම් ප්‍රමාද වැඩියි කියල තමයි කියන්නේ.

Trenchcoat එහෙම දැකල ඇතිනේ ඉංග්‍රීසි චිත්‍රපටිවල. මෙම ඇදුම ටිකෙන් ටික විකාශනය වෙමින් ඇවිල්ල පළමු ලෝක යුද්දයේදී තමයි බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට මෙම ආකාරයේ ඇදුම ලබා දීලා තියෙන්නේ. මෙය සොයා ගෙන තියෙන්නේ Thomas Burberry හිටපු රෙදි පිළි වෙලෙන්දෙකු විසිනුයි.

Radar (Radio Detection and Ranging) හෙවත් රේඩාරය ගැනත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒකත් දෙවන ලෝක යුද සමයේ තමයි සොයාගෙන තියෙන්නේ. ඒක ගැන සවිස්තරාත්මක ලිපියක් මීට පෙර සත් සමුදුරේම පල කරල තියෙනවා රේඩාරය සොයා ගත් පසු කියලා...

Cavity Magnetron කියන්නේ රේඩාර් සොයාගැනීමේ ව්‍යාපෘතිය කරගෙන යනකොට සොයාගත්ත දෙයක්. ඒ Sir John Turton Randall විසින්. Cavity Magnetron කියන්නේ අධිබල රික්තක නලයක් (high-powered vacuum tube). එයින් තමයි ක්‍ෂුද්‍ර තරංග (Microwave)  උත්පාදනය කරල දෙන්නෙ. මෙය විවිදාකාරයේ රේඩාර් පද්දතිවල යොදාගන්නා අතරම අපගේ නිවෙස්වල තියෙන Microwave Oven වල හා x-ray යන්ත්‍රවලත් භාවිතාවෙනවා.

Microwave Oven ගැන ඉස්සෙලත් පොඩි දෙයක් කිව්වා. ඒ එහි ක්‍ෂුද්‍ර තරංග ජනකය ගැනයි. දැන් කියන්න යන්නේ Microwave Oven නිපදවෙන්න හේතුකාරකය. මෙහෙමයි ඒක වෙලා තියෙන්නේ. Percy Spencer කියන්නේ රේඩාර් ව්‍යාපෘතියේ වැඩකටයුතු වල නියැළුන තවත් විද්‍යාඥයෙක්. ඔහු මේ වැඩකටයුතු කරගෙන යන අතරතුරේදී දිනක් ඔහුගේ සාක්කුවේ තිබුන candy bar එක උණුවෙලා තිබිලා තියෙනවා. එයින් ඔහුට අදහසක් ඇවිල්ල තියෙනවා විකිරණය (radiation) මගින් ආහාර පිසින්නට හැකිබව. එයින් තමයි Microwave Oven හදන්න අඩිතාලම වැටිල තියෙන්නේ...

The Manhattan Project එහෙමත් නැතනම් කවුරුත් දන්නා පළමු න්‍යෂ්ඨික බෝම්බය තැනීමේ ව්‍යාපෘතියත් අරඹන්න හේතුව දෙවන ලෝක යුද්දයයි. හැබැයි ඒකේ අවසන් ප්‍රතිඵලය නම් මහා ඛේදවාචකවක් වුනා. ඒ හිරෝශීමා හා නාගසාකී නගර මුළුමනින්ම මහා ජීවිත අහිමිවීමක් එක්ක විනාශ වී යාමයි. හැබැයි පසුකාලීනව ලෝකයේ බොහෝ රටවල බලශක්ති ප්‍රභවයක් ලෙස න්‍යෂ්ඨික බලය යොදා ගැනීම තුලින් ඒ රටවල් වල ආර්ථීක දියුණුවත් ලගා කර ගත් බව කිව යුතුයි.

අපි මොටර් සයිලක් පදින කොට අදින Biker Jackets ආවෙත් දෙවන ලෝක යුද්දය හරහායි. ඒ මුලින්ම මේවා භාවිතා කරල තියෙන්නේ ඒ යුද්දයට සම්බන්දවුන ගුවන් නියමුවන් විසිනුයි. යුද්දය නිමාවුනායින් පසුව ඔවුන් බොහෝමයක් තමන්ගේ "යකඩ අශ්වයා" පදවන කොට මෙම ජැකට්ටුවත් ඇදගෙනළු ඒවා පැදෙව්වේ. ඒක පසුව සෑම දෙනාම යතුරුපැදි පදවන කොට අදින ඇදුමක් බවට පත්වෙලා තියෙනවා.

කෘත්‍රිම රබර් හෙවත් Synthetic Rubber සොයාගත්තේ ඇමරිකානුවන් දෙවන ලෝක යුද්දයට පිවිසුනාට පසුවයි. ඒ අවස්ථාවේදී යුද්දයට අවශ්‍ය දේවල් තන්නන් අවශ්‍ය රබර් වල විශාල හිඟයක් ඔවුන්ට ඇතිවෙලා තියෙනවා. ඒකට ආදේශකයක් විදියට තමයි මේ නිපැයුම ඇවිල්ලා තියෙන්නේ. දැන්නම් විවිදාකාරයේ කෘත්‍රිම රබර් තියෙනවා වගේම 60 දශකයේදී වගේ අපේ රටටත් මේ කෘත්‍රිම රබර් නිසා තර්ජනයක් ඇතිවෙලා තියෙනවා. ඒ තමයි අපේ ‍ර‍ටේ නිපදවන ස්වාභාවික රබර්වලට තිබූ වෙලදපොල, කෘත්‍රිම රබර් විසින් අහිමි කරල දැමීම. ඒ අවස්ථාවේ අපිට උපකාර කරල තියෙන්නේ චීනය තමයි අපේ රබර් මිලට ගැනීම හා රබර් වෙනුවට සහල් සැපයීමෙන්.

ලෝකෙම දන්න Penicillin වැඩියෙන්ම මිනිසුන් භාවිතා කරල තියෙන්නෙත් දෙවන ලෝක යුද්දයට පසුවයි. එතෙක් වැඩිපුර ප්‍රචලිත නොවූ ඖෂධයක් වූ මෙය එම යුද්දය පැවති 1941 දී භාවිතය 10 ගුණයකින් වැඩිවෙලා තියෙනවා තුවාල ලත් සෙබළුන්ට ප්‍රතිකාර කිරීම සදහා. විශේෂයෙන් බටහිර යුද පෙරමුණ ප්‍රංශයට ඇතුළුවුන D-Day මෙහෙයුමේදී නැතුවම බැරි ඖෂධයක් වෙලා තියෙන්නේ මෙයයි.

Anti-Malaria හෙවත් මැලේරියා වට ඖෂද ලෙස Chloroquine සොයා ගෙන තියෙන්නේ 1934 දී ජර්මානු රසායන විද්‍යාඥයකු වන Hans Andersag විසින්. මෙය සොයා ගැනීමට හේතුව තමයි නිවර්ථන කලාපීය යුදබිම්වල සටන් වැදී සිටින සොල්දාදුවන් මැලේරියාව නිසා රෝගාතුර වීම. හැබැයි අවසනාවට 1946 වෙනකම් මෙම බෙහෙත ප්‍රතිකාර සදහා යොදාගෙන නැහැ.

Chemical Pesticides හෙවත් රසායණික කෘමිනාශක ආදිය ලෝකයේ රජකල chemical age in pesticides ඇතිවුනේ දෙවන ලෝක යුද්දයට පසුවයි. කොහොම වුනත් මේ යුද්දය පැතිරිලායන්න කලින් ස්විස් ජාතික රසායන විද්‍යාඥයකු වන Paul Müller සොයාගත්ත DDT වලින් කෘමීන් මරාදමන්න හැකිබව. ඇමරිකානු මෙන්ම අනෙකුත් රාජ්‍යවල යුදබිම් වෙත මෙම DDT  බෙදා හරිනු ලැබුවා එම මෙහෙයුම් පවතින භූමිවලට ඉස දැමීම සදහා. ඒ එම ප්‍රදේශ වල පීඩාකාරී කෘමීන් මර්ධනයට. යුද්දයේ තව සැගවුන කරුනක් තමයි උණ්ඩ වලට හෝ බෝම්බවලට හෝ වෙනයම් ආයුදයකට ගොදුරුව මිය යනවාට හෝ රෝගාතුර වෙනවාට අමතරව malaria හා typhus වගේ රෝගවලිනුත් අඩපන වීම හෝ මියයාම සිදුවීම. මේක දෙවන ලෝක යුද්දයට පෙර පැවති යුද්දවලදී සිදුවූ දෙයක්. හැබැයි රසායණික කෘමිනාශක භාවිතය නිසා දෙවන ලෝක යුද්දය තවත් කඩඉමක් පසු කරල තියෙනවා. ඒ තමයි ලෝකයේ සිදුවෙලා තියෙන පලමු යුද්දය සොල්දාදුවන් අඩුවෙන්ම පෙරකී රෝගවලට ගොදුරු නොවූ. ඒ DDT ‍වගේ රසායණිකවල පිහිටෙන්.

තව ටිකක් සොයා ගැනීම් තියෙනවා. දැන්නම් ටිකක් මහන්සිත් වගේ. ඒ නිසා ‍තෙවන කොටසෙදී ඉතිරි ඒවා බලමුද?

Wednesday, June 1, 2011

සංග්‍රාම අවධිවලදී සොයා ගන්නා ලද නමුත් දැන් අ‍පේ පහසුව සදහා භාවිතාවෙන දේවල් - Inventions from Wartime - පළමු කොටස

මොන තැනක සිදුවුනත් යුද්දය ගැනනම් සුභවාදී යහපත් පිළිතුරක් දියනොහැකි මාතෘකාවක්. හැබැයි මානව වර්ගයාගේ යහපත හෝ පහසුව පිණිස අද නිෂ්පාදන වන දේවල් බොහෝමයකට තිඹිරිගෙය වෙලා තියෙන්නේ යුද්දයක් හෝ එයට ආසන්න හේතුවක් බව අප බොහෝ දෙනෙක් නොදන්නා සත්‍යයක්. එසේ සොයාගන්නා ලද නිපැයුම් කිහිපයකම තොරතුරු ඔබ හමුවේ අද තැබීමට තමයි බලාපොරොත්තුවෙන්නේ.

මුලින්ම කියන්න යන්නේ අපි කවුරුත් දන්න තැපැල් සේවය එහෙමත් නැත්නම් Postal Service ගැන.
විධිමත් තැපැල් සේවයක් මුලින්ම පවත්වාගෙන යාම අරඹලා තියෙන්නේ ක්‍රි.පූ. 522 - 480 අතර කාලයේ රාජ්‍ය විචාරන ලද පර්සියානු අධිරාජ්‍යයෙකු වන Darius the Great විසින්. ඒ ඔහුට සහ යුද පෙරමුණු වල සිටි ඔහුගේ සේනාංක සමග හොද සන්නිවේදනයක් පවත්වාගෙන යාම සදහායි.

ගිලන් රථය හෙවත් Ambulance කියන අද වන විට අපට නැතුවම බැරි සේවාවත් ජනිත වෙලා තියෙන්නේ යුද්දයකින් තමයි. ඒ 1487 කාලයේ ස්පාඤය විසින් සිය තුවාල ලබන සොල්දාදුවන් යුද බිමෙන් ඉවත් කරන්න තමයි මෙම සේවාව සපයන වාහන භාවිතා කරල තියෙන්නෙ.
A horse drawn ambulance from theAmerican Civil War
(1861-1865)
ඉස්සර කාලයේ නම් ඉතින් යොදාගෙන තියෙන්නේ කරත්ත තමයි මේ ක්‍රියාවට. ඔවුන් මෙය හදුන්වල තියෙන්නේ ‘ambulancias’ (medical hospitals) ලෙසින්.

මෙම  ඒවගේම මෙම Ambulance කියන වචනය බිදී ආබව කියන්නේ ලතින් භාශාවේ ambulare කියන වචනයෙන්. එහි අර්ථය ඇවිදගෙන යාම හෝ ගමන් කිරීම කියන එකයි. තව දෙයක් කියන්න ඕන මෙම ගිලන් රථය කියන දෙය  හදුන්වා දෙනතෙක් යුදබිමේදී තුවාල ලබන්නන් යුද්දය ඉවරවෙන තාක් එතනින් ඉවත් කර ගැනීමක් සිදුවෙලා නැති බවත් කියන්න ඕන. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ 1487 ට පෙර යුද්දයකදී තුවාල ලබන එක මැරෙන එකට වඩා භයානක බව.
Cycle Ambulance
දැන්නම් ගොඩබිමේ තියෙන ගිලන් රථ විතරක් නෙමෙයි හෙලිකොප්ටර් ගිලන් රථත් තියෙනවා.

අපි කවුරුත් දන්න මාගරින් සොයාගන්න හේතුවත් යුද්දයට සම්බන්ධ‍ දෙයක් තමයි. ප්‍රංශයේ 1869 කාලයේ රජකම් කල Emperor Louis Napoleon III කියන රජුට අවශ්‍ය වෙලා තියෙනවා සිය යුදබිමේ සොල්දාදුවන්ට බටර් යවනවා වෙනුවට ඊට වඩා ලාභදායි විකල්පයක් යවන්න. මොකද සොයා බැළුවහම බටර් වලට සැලකිය යුතු වියදමක් යන නිසා. ඉතින් ඔහු බටර් වෙනුවට ලාභදායි විකල්පයක් සොයාගන්න කෙනාට ත්‍යාගයක් පවා දෙන්න තීරණය කරල තිබුනළු. මේ අභියෝගය ජයගත්ත කෙනා තමයි ප්‍රංශ රසායන විදඥ්‍යයකුවන Hippolyte Mège-Mouriés. ඔහු මාගරින් තනල තියෙන්නේ වෙන්කරගත් ගව මේදය, ජලය හා tributyrin ස්පල්පයක් එකට මිශ්‍ර කිරීමෙනුයි.

ටින් කල ආහාර හෙවත් Canned Food ලෝකයට ලැබෙන්නත් යුද්දය හේතුවුනා.
Preserved food
ඒ එසේ මෙසේ කෙනෙක්ගේ යුද්දයකට නෙමෙයි ප්‍රංශ අධිරාජ්‍ය Napoleon Bonaparte ගේ අවශ්‍යතාවය මතයි.
Napoleon Bonaparte
1700 අගභාගයේ එහෙමත් නැත්නම් 18 වන සියවසේ අන්තිම හරියේදී නැපෝලියන්ගේ හමුදා රුසියාව දෙසට ඇදෙන කොට එම භටපිරිස් වෙත ආහාර ලැබීමේ දුශ්කරතා මතුවෙලා තියෙනවා. ඒක නිසා ප්‍රංශ හමුදාව කුසගින්නෙන් වගේම, මන්දපෝශනයෙන්, ශීතාද රෝගය වැනි රෝගාබාදවලින් පෙලෙමින් තමයි ඉදල තියෙන්නේ. යුද ශිල්පයේ කෙල පැමිනි නැපොලියන් ඉක්මනින්ම වටහා ගෙන තියෙනවා මුලින්ම තමන් පරාජය වෙන්නේ සතුරු රුසියන් හමුදාව අතින් නොවෙයි මෙම සාගතය කියන සතුරාගෙන් බව (හැබැයි පසුව නම් රුසියන් හමුදාව අතින් නැපෝලියන් පරාජය වුන බව කියනවා). මේනිසා ඔහුගේ ප්‍රංශ ආණ්ඩුව කවුරුහරි කෙනෙක් ආහාර කල්තියාගෙන යුදබිමට යවන්න හැකි ක්‍රමයක් සොයා දෙන කෙනෙකුට විශාල ත්‍යාගයක් පිරිනමන බවට ප්‍රකාශ කර තියෙනවා. මේ ත්‍යාගයත් සුළුපටු ගණනක් නෙමෙයි ප්‍රංශ ෆ්‍රෑන්ක්ම 12,000 ක්ළු.

ඉතින් මේවගේ තෑග්ගක් ගන්න ඒ කාලේ ප්‍රංශ රටේ හිටිය හුඟක් අය උත්සහ කරන්න ඇති. ඔන්න මේකාලේ ඒ රටේ හිටිය Nicholas Appert කියල කෙනෙක්. ඔහු එතරම් ප්‍රසිද්ධියක් නැතුව රසකැවිලි නිෂ්පාදනය කරපු කෙනෙක්, ඒවගේම ඔහු බීර පෙරීම හා බේකරියකුත් කරගෙන උන්න කෙනෙක්. මනුස්සයා මේ තෑග්ග ගැනත් හිතේ තියාගෙන වෙන්න ඇති තමන් කරගෙන ඉන්න වැඩ කටයුතුවලට අමතරව මේ විදියට යුදබිමට කෑම යවන්න කල් තියා ගන්න හැකි ක්‍රමයකුත් සොයාගන්න හිතුවේ. 

Appert canning jar
Nicholas Appert ට මේ වෙනුවෙන් සිද්ධාන්තයක් ගොඩනගා ගන්නත් හැකිවුනා. ඒ තමයි නැවුම් ආහාර වායුරෝධක (airtight) භාජනයකට බහා  ප්‍රමාණවත් තාපයකට ලක්කල විට එය කල් තබා ගන්න හැකි බව. හැබැයි මේ සොයාගැනීම කරන්න ඔහුට සෑහෙන්න කාලයක් ගතවුනා. ඒ කියන්නේ වසර 14 ක් මෙම පරීක්‍ෂන වෙනුවෙන් ගතවෙලා තියෙන අතරම 1810 දී නැපොලියන් අතින්ම තෑග්ගත් ලබා ගෙන තියෙනවා. 

මේ Nicholas ආහාර කල් තියා ගෙන තියෙන්නේ මේ විදියට. ඔහු මුලින් බෝතල් වලට ආහාර දමා එය ඇබ ගසා වසා, නටන උණු වතුරට ගිල්වලා තියෙනවා. 

කොහොමවුනත් වීදුරු බෝතල් වගේ බිදෙන සුළු දේවල් යුද බිමකට නුසුදුසු නිසා පසුකාලීනව ටින්, බෝතල් වල තැන ගන්න ඇති. මෙම ප්‍රයෝජනවත් සොයාගැනීම වෙනුවෙන් Nicholas Appert ට ගරු කිරීමක් ලෙස ටින් කිරීමේ ක්‍රියාවලිය "appertisation" ලෙසද හදුන්වනවා.

තව ගොඩක් සොයා ගැනීම් ගැන කියන්න තියෙනවා. ඒ ගැන දෙවන කොටසේදී බලමු...

Monday, May 30, 2011

අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් වෘතාන්තය - CSI Miami & CSI New York (Crime Scene Investigation)

ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටියක
එම චරිතය නිරූපනය වූ
ආකාරය
ෂර්ලොක් හෝර්ම්ස්  කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකය පුරා සිටින බාල තරුණ මහළු බොහෝමයක් දෙනා දන්නා කියන චරිතයක්.  මේ මාතෘකාවට අනුව ෂර්ලොක් හෝම්ස් කියන නම භාවිතා කලේ ඔහු සම්බන්ධව සිටි ක්‍ෂෙත්‍රය පිළිබදව කියන්න හොදම තනි නාමය ලෙස එය වඩාත් උචිත නිසයි. ඔහු සම්බන්ධ ක්‍ෂෙත්‍රය තමයි රහස් පරීක්‍ෂක වෘත්තිය. හැබැයි මේක අර අපි බලල තියෙන James Bond - 007 වගේ සාක්කිකාරයොත් මරල දාන බොහොම ප්‍රචණ්ඩ වර්ගයේ රහස් පරීක්‍ෂක චරිතයක් නෙමෙයි. බොහොම සූක්‍ෂම විදියට තර්කානුකූල වගේම, මෙම අග්‍රගන්‍ය පුද්ගලයාගේ විනෝදාංශයක් වුන රසායන විද්‍යාවත් යම් යම් අවස්ථාවල තම අපරාධ විද්‍යාත්මක ගැටළු විසද ගන්න භාවිතා කල බොහොම සිත්ගන්නා සුළු චරිතවක් වගේම එම කතා මාලාවත් කිසිදු කම්මැලිකමකින් තොරව කියවන්න හැකි කතා සමූහයක්.

අද අපි සිනමාව සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තුවන්නේත් මෙවැනි සූක්‍ෂම විදියට අපරාධ විසදන නූතන කාලයේ කණ්ඩායමක් පිළිබදව නිර්මාණයවුන ‍රූපවාහිනී ටෙලි නාට්‍ය මාලාවක් පිළිබදවයි. මෙම ටෙලි නාට්‍ය මාලාව තිරගත වෙන්නේ නම් ඇමරිකාවේ වුනත් අද අපේ රටෙත් විවිද සන්නිවේදන ආයතන මගින් ලබා දෙන බටහිර රූපවාහිනි චැනල ඔස්සේ අපේ රටේදිත් මෙම කතා මාලාව දැක බලා ගන්න හැකියාව තියෙනවා. මෙම ටෙලි නාට්‍ය රහස්පරීක්‍ෂක කතා මාලාවන් තමයි CSI Miami සහ CSI New York


මෙම නම් වල හැටියටම ඒ රටේ ‍ජනපදයන් වල ප්‍රධාන නගරවන මියාමි හා නිව් යෝර්ක් පොලිසි සේවයේ මිනීමැරුම් වගේ අපරාධ හා සම්බණ්ධව ක්‍රියාකරන කණ්ඩායම හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් වටා ගෙතුන එක්වරකට කොටස් 24-25 ක් වගේ තියෙන ටෙලි නාට්‍ය මාලාවක් වන අතර එයට පෙර නිර්මාණය වූ තවත් නගරයක මෙවැනිම කණ්ඩායමක් වටා ගෙතුන කතා මාලාවකුත් තියෙනවා. එය තමයි CSI Las Vegas. හැබැයි එය ගැන මෙම ලිපියේදී සදහන් කරන්නට බලාපොරොත්තුනොවෙන්නේ එය මෙම අපගේ මාතෘකාවට අදාල කතා මාලාවන් දෙක තරම් සිත් ඇදගන්නා සුළු බවක් නොතිබුන නිසායි‍. ඒත් ඒ මගේ හැගීම වුනාට සමහර විට එයත් ඔබට සිත් ගන්න ඉඩ තිබිය හැකි නිසා තමයි එය ගැනත් සුළුවෙන් හෝ සදහනක් කරනු ලැබුවේ.

කෙසේ වෙතත් මෙම කතා මාලාවන් සියල්ලේම යම් සමාන බවක්, ඒ කියන්නේ ඒ ඒ කණ්ඩායම් වල තනතුරු හා ක්‍රියාකාරකම්වල තියෙනවා වගේම ඔවුන් සිය තර්කානුකූලබාවය මෙන්ම රසායණ විද්‍යාව, භෞතික විද්‍යාව වගේම නවීන අවිආයුද සම්බන්ධ විමර්ශනයන් හා පරිගණකගත අතිනවීන තාක්‍ෂන ක්‍රමවේදයන් අපරාධ විසදීමේ ක්‍රියාවලියේදී යොදාගන්නා ආකාරය බොහොම සිත් ඇද ගන්න සුළු ලෙස ඉදිරිපත් කරනවා දැක ගන්නට පුළුවන්.  ඒ වගේම ඒ ඒ චරිතවලට මුහුණ පාන්නට සිදුවන සිදුවීම්ද විටින් විට කතා මාලාවේ අන්තර්ගතයට හානියක් නොවන ලෙස දක්වා තියෙන අයුරුද දැක ගන්නට හැකියි. හැබැයි සමහර අවස්ථාවල අපේ මෙගා ටෙලිනාට්‍ය වල මෙන් කතාව දිග්ගස්සා ගැනීමේ අරමුණින් අපරාධකරුවන් හසුකර ගැනීමට ඇති තරම් හේතු සාක්‍ෂි තිබියදී දුර්වල ලෙස එම දවසට අදාල කතාව තවත් දිගට ගෙනියන අවස්ථාද නැතුවා නොවේ. ඒවගේම විශේෂයෙන් CSI New York කතාවේදී ජීව අපරාධකරුවන් සම්බන්ධයෙන් වගේම සමහර දිනවල විකාශනය වූ ටෙලිනාට්‍යයේ අජීව අපරාධකරුවන් ඒ කියන්නේ පරිගණක ක්‍රීඩා ඇසුරෙන් නිර්මාණය වන අපරාධකරුවන් සම්බන්ධයෙන් නිර්මාණය කර ඇති අතාත්වික කතා තේමාවන්ද කලාතුරකින් දැක ගැනීමට හැකිවූ තවත් කිව යුතුයි. 

කොහොමවුනත් ලිපිය අවසාන් කරමින් කිවයුතු දෙයක් තියෙනවා. ඒ තමයි යම් යම් දුර්වලතා තිබුනත් සමස්ථයක් විදියට හොද බටහිර ටෙලි නාට්‍ය මාලාවක්. මීට පෙර දකින්නට නොලැබුන තාක්‍ෂනික දේවල් වගේම, ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තරම් නැතත් තර්කානුකූල ගැටළු නිරාකරණයක්ද නිරූපනය වන බවද ඔබට කිවයුතුයි.

Friday, May 27, 2011

මහන මැෂින් බයිසිකලය, කිඹුල් කරත්ත, අහස් නැව් රෝහල, සුනඛ එන්ජින් යෙදූ වාහන, වැකුම් ක්ලීනර් පියානෝව..

ලෝකයේ විවිද සොයාගැනීම් අතීතයේ සිටම සිදුවුනි. සමහර ඒවා තවදුරටත් වැඩි දියුණු වෙමින් වර්තමානය තෙක්ම හෝ අනාගය වෙතත් විකාශනය වෙමින් යන සොයාගැනීම් වූ අතර සමහරක් ප්‍රායෝගික නොවන මෙන්ම ජනප්‍රිය නොවීම හේතුවෙන් අභාවයට ගිය සොයාගැනීම් පමනක්වූයේය. එසේ ජනතාව අතර ජනප්‍රිය‍නොවුන ප්‍රායෝගිකත්වයෙන් ඈත්වූ උපකරණ කිහිපයක් මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමි.

Poochmobile: 1939 - සුනඛ එන්ජින් යෙදූ වාහන
මෙම වාහනයේ පරිසර දූෂන කිසිවකට හේතු නොවේ (මෙහි එන්ජිම ශරීර කෘත්‍ය ලෙස බැහැර කරන අපද්‍රව්‍ය හැර) දුම් නැත, හැම විටකම එන්ජිමේ ශබ්ද නැත. 1939 දී අසූවි‍යැති මෙම Z. Wiggs සීයා තැනූ මෙම වාහනයට බලය සපයන්නේ කකුල් හත‍රේ එන්ජිමක් වන සුනඛ මිතුරෙකි. මෙම සීයා මෙම වාහනය හදන කාලයේ සුනඛයන් පුහුණුකරන්නෙකු ලෙස ක්‍රියාකල අතර ඔහු කලින් දුම්රිය මාර්ගවල වැඩ කල අයෙකි. මෙහි රූපයේ දැක්වෙන ආකාරයට සුනඛයා විශාල රෝදයේ ගමන් කිරීමට උත්සහ දරන විට ඔහුගේ බෙල්ලේ බැද තිබෙන කොලරය විශාල රෝදයේ මධ්‍යයේ ඇති දණ්ඩ ඔස්සේ බලය ඊට පිටුපසින් ඇති රෝදවලට ලැබීමෙන් වාහනය ඉදිරියට යන අතර මෙම වාහනයට ගියර්පද්දතියක්ද සවිකර තිබේ.

Sewing Machine Bicycle: 1939 - මහන මැෂින් බයිසිකලය
ඔබගේ නිවසේ ටේලර් සාප්පුවක් තිබේ නම් දැන් ඔබගේ මුළු පවුලටම එක්වී එම ව්‍යාපාරය ලේසියෙන් කර ගැනීමට මෙම මහන මැෂින් බයිසිකලය භාවිතා කල හැක. මෙය නිසා විදුලිය පිරිමැසේ. ඒ මැෂිම ක්‍රියාකරවීමට මෝටරයක් අනවශ්‍ය බැවිනි. මෙම රූපය එයට හොදම උදාහරණයකි. පියා සහ පුතා මහන මැෂිමට සම්බන්ධකර ඇති බයිසිකලය පැදීමෙන් මැෂිමට අවශ්‍ය බලය ලබා දෙන අතර මවට රෙදි මැසිය හැකිය.

Water Skiing Just Got Easier: 1937 - ලේසියෙන් ‍වගේම වේගයෙන් දියමත ලිස්සා යාමට මෙන්න
දියමත ලිස්සීම බොහෝ දෙනෙකුගේ ප්‍රියතම විනෝදාංශයකි. එහෙත් එය සෑම කෙනෙකුටම ලේසියෙන් කල හැකි දෙයක් නොවේ. අධෛර්යමත් නොවන්න දැන් එය ඔබට ලේසියෙන් වගේම වේගයෙන් කරන්න 1937 දී තැනූ මෙම ඕවලාකාර පියාපත් දෙපසින් තබා ගැනීමෙන් සුලඟ තවත් ආධාරකරගෙන ලිස්සා යා හැක.

Airship Hospital: 1930 - අහස් නැව් රෝහල
දැන්නම් ගුවන් යානා වල වුවත් රෝහල පහසුකම් ඇතොත් පුදුමයට කාරණයක් නොවේ. ඒ නූතන තාක්‍ෂනික දියුණුව අනුව එවැන්නකට අවශ්‍ය පහසුකම් එමට තිබීමයි. ඒත් 1930 තරම් ඈත කාලයේ ජෙට් තාක්‍ෂනය ගැන සිතාවත් නැති කොට දැන් නම් අභාවයට ගිය, එහෙත් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට භාවතා කල, එදා නම් ගුවන් යානා වෙනුවට එදා අහස් නැවක් රෝහලක් බවට පත් කිරීමට එදා සිටි කිහිපදෙනෙකුට උවමනා වී තිබුනේළු. කෙසේවෙතත් මෙම රෝහල ක්‍රියාත්මක වූවාදැයි නිසි තොරතුරක් නොමැති අතර මෙම රෝහල තිබුනේ නම් රෝගීන්ට නොමිලේම උදෑසන විටමින් D නම් යහමින් ලැබෙනු ඇත. 

Automated Grocery Store: 1933 - ස්වයංක්‍රීය සුපිරි වෙලද සැල
ඔබ සුපිරි වෙලද සැලකට ගියහොත් එහි සෑම තැනකම ඇති රාක්ක වෙත ඇවිදි‍මන් ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීම සිදුකරයි. එහෙත් මෙම වෙලද සැල ගැන දැනගත්විට අපි බොහොම පහසුවෙන් ඒ දෙය කර ගැනීමට තිබුනාදැයි ඔබට සිතෙනු ඇත. මෙම වෙලද සැල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි 1933 දී ආරම්භ කර ඇති අතර මෙහිදී ඔබට තිබෙන්නේ මෙම රූපයේ ආසන වල වාඩිවී සිටීම පමණි. ඔබ ඉදිරියෙන් පෙනෙන භාණ්ඩ චක්‍රයක් ලෙස ඔබ ඉදිරියෙන් ගමන් කරන විට ඒවා අවශ්‍යනම් තෝරා ගත් හැක. සෑම මිනිත්තු 8 කට වරක් මෙම එක් චක්‍රයක් සම්පූර්ණවේ. ඉතින් මෙවැන්නක් දැනුත් තිබුනේ නම් වෙලද සැල පුරා ඔබට ඇවිදීමට අවශ්‍ය‍නොවන්නේ නේද?

Ingenious Farm Gadgets: 1925 - උපායශීලී ගොවිපල් ආම්පන්න 
මේවා නම් එතරම්ම දුර්ලභ නොවන උපකරණ වන්නටත් ඇති ‍‍ගොවිපලවල මෙන්ම නිවසේද යම් යම් කාර්යයන් කරගැනීමට අපගේ සුපුරුදු පාපැදිය හෝ සුලංබලය යොදා ගැනීම එතරම්ම අමුතුදෙයක් නොවනු ඇත. හැබැයි මෙය කර තිබෙන්නේ 1925 තරම් ඈත කාලයේ වීම තමයි කැපී පෙනෙන්නේ.

Beast-Drawn Carriages: 1924 - කිඹුල් කරත්ත
මෙහි දැක්වෙන අනෙකුත් සතුන් කෙසේ වෙතත් කිඹුලන් හා පැස්බරුන් යෙදූ කරත්ත නම් ටිකක් අමුතු අත්දැකීමකි. ඛණිජ තෙල් වෙනුවට 1924 තරම් ඈත කාලයේ එතරම් හුරු නැති මෙවැනි සතුන් යෙදූ කරත්ත පාරේ ගියානම් කෙබදු ලෙස තිබෙනු ඇත්ද?

Combination Piano-Vacuum Cleaner: 1917 - වැකුම් ක්ලීනර් පියානෝව
මෙන්න පහුගිය ශතවර්ශයේ මුල් කාලයේ පීයානෝව සංගීතය සපයනවාට අමතරව දුහුවිලි ඇද ගන්න වැකුම් ක්ලීනරයක් බවටද පත්කර ඇතිහැටි. මෙම රූපයේ ආකාරයට පියානෝවේ pedals පාගන විට මෙහි දැක්වෙන නල මගින් අසල බිමේ දුහුවිලිද ඇද ගනී.

Thursday, May 26, 2011

අද ඒඩ්ස් ව්‍යවසනයට මෙන් එදා සිෆිලස් හා ගොනෝරියාවලට අවහිර කල හැටි +18 - STD Prevention Posters

අද ලෝකයේ සියළු දෙනා භීතියට පත් කර ඇති සෞඛ්‍යමය ගැටළුව කුමක්දැයි පාසල් යන වයසේ කුඩා දරුවෙකුගෙන් ඇසුවත් දෙන පිළිතුර විය හැක්කේ ඒඩ්ස් (Acquired immune deficiency syndrome or acquired immunodeficiency syndrome (AIDS)) කියාය. එහෙත් අසූව මෙම රෝගය පිළිබදව නිශ්චිතවම සොයා ගන්නා තෙක්, ප්‍රධාන ව‍ශයෙන් ලිංගාශ්‍රිතව ව්‍යාප්තවුන රෝග ලෙස අප පොදුවේ සමාජ රෝග ලෙස හදුන්වන STD නැතහොත්  Sexually Transmitted Disease සමාජය කම්පනයට පත් කරන මෙන්ම අපගේ රටේ නම් එම පුද්ගලයා ගැරහුම් වලට ලක්වන තත්වයක් යයි කීවත් නිවැරදියි. 


අපගේ ආගමට අනුව තෙවන සිල්පදය කැඩීම හෝ කිතුනුවන්ගේ දහමට අනුව ආදම් සහ ඒව තහනම් ගසේ ගෙඩි කෑවා යයි කියන තම හැගීම් පාලනය කරගත නොහැකි වීම මෙන්ම බටහිර සමාජයට අනුව නම් තවත් එක් මනුශ්‍ය අවශ්‍යතාවයක් ලෙස සැලකූ ක්‍රියාකාරකම මෙම රෝගයන් බහුලව ව්‍යාප්තියට හේතුවූවා සේම එවැනි ක්‍රියාවල නිරත වුවද භාවිතා කල හැකි විවිද ආරක්‍ෂිත ක්‍රියාමාර්ග නොදැනුවත්කම හෝ නොසැලකිල්ල මෙන්ම සමහර රටවල ඇති ආකල්පයන්ද මෙම රෝග පැතිරීමට හේතුපාදක වී ඇත. එසේම මෙම රෝග දෙවියන් විසින් මිනිසුන්ට ඇතිකරේ මිනිසුන්ගේ නොහොබිනාකම්  මෙම රෝගවලට ඇති බිය නිසා පාලනය වනු ඇතැයි විශ්වාසයෙන් බව සමහර ආගම්වලද මතයයි. ඒ අවධියේ ලෝකයේ සිටි ප්‍රසිද්ධ පුද්ගලයන් පවා මෙවැනි රෝගවලට ගොදුරුවීමෙන් මිය ගිය බවට බොහෝ සාක්‍ෂි පෙන්විය හැකි අතර ප්‍රංශ ලේඛක ගීද මෝපසාං මියගියේ උන්මත්තකාගාරයකදී වන අතර එයට හේතුව සමාජරෝග වැලදී එය උත්සන්නවීමෙන් ඔහු උමතුබාවයට පත්වී‍ම නිසයි.


අද කතාකරන රූප වලින් ලබාදීමට බලාපොරොත්තුවන්නේ සමාජයට යම් පණිවිඩයක් මෙන්ම ඔබට දැකීමට දුර්ලභම වූ පින්තූර සමූහයක්. මෙම පින්තූර ප්‍රදර්ශනය කර ඇත්තේ ඇමරිකාවේ වන අතර ඒ 1930 හා 1940 අතර කාලයේ සිදුවූ දෙවන ලෝක යුද සමයේදීය. ඇත්තෙන්ම මෙම පින්තූර ප්‍රධාන වශයෙන් ඉලක්කකර ගෙන ඇත්තේ ඔවුන්ගේ හමුදා සොල්දාදුවන්වයි. ලෝකයේ ඒ අවධියේ ඇතිවූ ව්‍යවසනකාරී තත්වයත් සමග ලෝකය පුරා හමුදා මෙහෙයුම් වල නිරතවුන ඇමරිකානු හමුදා සොල්දාදුවන්ගේ මානුශීය හැඟීම් කොයි මොහොතක හෝ ඉස්මතුවීමෙන් ඔවුන් සිදුකරන අනාරක්‍ෂිත ක්‍රියාකාරකම් නිසා ප්‍රධාන වශයෙන් වැලදිය හැකි සිෆිලස් හා ගොනෝරියා වැනි සමාජ රෝගවලින් යම් තාක් දුරකට හෝ ගලවා ගැනීමට හා යම් හෙයකින් ඔවුන්ට මෙම රෝග වැලදී ඇතැයි හැගේ නම් හෝ දැන සිටීනම් නොසඟවා වෛද්‍ය ප්‍රතිකාර ගෙන සමාජයතුල තවදුරටත් ව්‍යාප්ත කිරීම වැලකීමට හා මුල් කාලයේදීම ප්‍රතිකාර ලබා පසුව වෙනත් සුවක‍ල නොහැකි තත්වයන් කරා ගමන් නොකිරීමට මේවා ඔවුන් අතරට ප්‍රචලිත කරන්නට ඇත. කෙසේවුවත් මේවා සෑම කාලයකටම සියළු ජනකොට්ඨාශයන් වෙත යම් වැදගත් පණිවිඩයක් ගෙන එනවා නිසැකයි. එසේනම් දැන් අපි එම පින්තූර රැස නරඹමු...